Big Match




****************************************************************************************************************************

සියනෑ නිල් කොළ සටනේ ශූරතාවය හේනේගම විද්‍යාලයට

සියනෑ නිල් කොළ මහා ක්‍රිකට් සටන ලෙසින් හඳුන්වනු ලබන වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය හා හේනේගම මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගය 2017/06/27 පැවැත්විය. එම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට හේනේගම මධ්‍ය විද්‍යාලය සමත් විය.

*

දෙවන වරටත් සාර්ථක ලෙස පැවත්වනු ලැබූ මෙම සියනෑ නිල් කොළ මහා ක්‍රිකට් ගැටුමේ, ගියවර ශූරතාවය ජයග්‍රහණය කිරීමට වේයන්ගොඩ, බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය. නමුත්, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයට සාපේක්ෂව 2016/17 සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වූ තරග වලින් තරග බහුතරයක් ජයග්‍රහණය කර, පෙරමුණේ පසුවීමට හේනේගම මැදි විදුහල සමත්ව ඇත. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට ඉහළින් වූ අහසේ වැහි වළාකුළු අතරින් නැගුණු හිරැ රැස් ක්‍රීඩා පිටියට පතිත වන කාලගුණික තත්වයක් පවතිද්දී, තරගයේ කාසියේ වාසිය උරඟා බැලුණු අතර, එහි ජය හිමි කරගත් හේනේගම මධ්‍ය විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. පළමුව පිටියට පැමිණි හේනේගම මධ්‍ය විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක්ටම ආර්. ප්‍රේමදාස තණතීරුවේ හැසිරීම නිසියාකාරව අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ, මලීශ කලන්සූරිය ඇතුළු පන්දු යවන්නන් සමත් විය. නමුත් තම ඉනිම යම් මට්ටමකට ඔසවා තබා ගැනීමට අවශ්‍ය බව වටහා ගත් හේනේගම මධ්‍ය විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන් ලකුණු කිහිපය බැගින් ලබාගෙන ලකුණු 93ක් දක්වා තම ඉනිම ගෙන යන ලදි. පන්දු යැවීමේ දී මලීශ කලන්සූරිය ලකුණු 19ක් තුල කඩුලු 3ක් දවාලන ලදි. පන්දුවාර 50ක් තුල ලකුණු 94ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි, පසුගිය ශූරතාවය ජයග්‍රහණය කළ වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන්ට ද, හේනේගම මුල්පෙළ පිතිකරුවන්ට වූ මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයට මුහුණ දීමට සිදු විය. මුල් පෙළ වැදගත් කඩුලු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටී වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ පිතිකරුවන් ගේ හිස මත ලකුණු පුවරුවේ පීඩනය රැඳී තිබූ මොහොතේ, උපරිම ප්‍රයෝජනය ලබා ගත් හේනේගම විද්‍යාලයේ පන්දු යවන්නන්, ආක්‍රමණශීලීව තම පන්දු රකින්නන් සකස් කර, පිතිකරුවන් මත වැටී තිබූ පීඩනය දෙගුණ තෙගුණ කරවන ලදි. එම නිසාවෙන් තවත් කඩුලු කිහිපයක්ම පහසුවෙන් තම සන්තකයේ රඳවා ගන්නට ජනිත් මදූශට හා ශෙහාන් දිනූෂට හැකි විය. පන්දු යැවීමේ දී දස්කම් දැක්වූ මලීශ කලන්සූරිය ලකුණු 26ක් ලබාගෙන එක් අන්තයක වගකීම කරට ගත් අතර, සජිත් මදුසංක තවත් ලකුණු 24ක් ලබාගෙන තම හැකි උපරිමයෙන් ක්‍රීඩා කරන ලදි. අවසානයේ වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයට පන්දුවාර 27යි පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණි. ඒ අනුව ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට හේනේගම මධ්‍ය විද්‍යාලය සමත් විය. පන්දු යැවීමේ දී ජනිත් මදූශ හා ශෙහාන් දිනූෂ ලකුණු 21ක් තුල කඩුලු 3 බැගින් දවාලන ලදි

Leave a comment

Follow Us On Instagram